හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේට අධිචෝදනාවක්

2009 වසරේ කුරුණෑගල පැවති ජන රැලියක දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ ඇතුළු 4 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.
නීතිපතිවරයා ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට ඊයේ භාරදෙනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් ඉදිරියේ දී යි.
එහි දී විත්තිකරුවන්ගේ ඇගිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ද ලක්ෂ්මන් කුරේට චෝදනා එල්ල වූ අතර වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහුව පසුගියදා ගම්පහ මහාධිකරණය නිදොස් කොට නිදහස් කළේ එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව තහවුරු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව පවසමින්.
ඊයේ(13) අධි චෝදනා භාරදීමෙන් පසු ඔහුගේ නීතිඥවරු ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධිත ප්‍රතිපාදනවලට අනුව විත්තිකරුවන්ට ඇප ප්රදානය කිරීමට මහාධිකරණයට බලයක් පවතින බව සඳහන් කළා.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරෝධය පළ කළ අතර , ඇප ඉල්ලීම පිළිබද නියෝගය ඔක්තෝම්බර් 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

