ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගුයි

ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීම මත කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ, නීතිමය ක්‍රියාවළියක් ආරම්භවීමත්, මුදල් ගෙවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි වගකීමේ සහතිකයක් නොලැබීමත් නිසා ටෙන්ඩරය ක්‍රියාත්මක කළ නොහැකිබව තෝරාගත් සැපයුම්කරු දැනුම්දී ඇති බවයි.
ගල් අඟුරු තොග සඳහා සඳුදා මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඔක්තෝම්බර් 25 වන දා සිට රටේ විදුලිය කප්පාදුව පැය 10 කට පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි පාර්ශව කිහිපයක් ඊයේ ප්‍රකාශ කළේ ය.
ඊයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමෙන් පසුව ටෙන්ඩරය අත්හිටුවා ලබන සතියේ නව ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමට තීරණය කර තිබේ.
කංචන විජේසේකර අමත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, එතෙක් දැනට ගල් අඟුරු සපයන සමාගම විසින් සැපයීමට ඇති නැව් 19 ට අත්තිකාරම් ගෙවා ලබා ගැනීමට තීරණය කළ බවයි.
විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවන්නේ නියමිත කාලසීමාවේ ගල් අඟුරු නොලැබුනොත් විදුලිය කපන කාලය දීර්ඝ කිරීමට සිදුවන බවයි.

