ශ්රී ලංකා බර අවි අද අපරාජිතව අවසන් සටනට

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’ ලෙජන්ඩ්ස් විස්සයි20 ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ අපරාජිතයන් ලෙස අවසන් මහා තරගයට එක් වීමට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය අද (1) රාත්රී 7.30ට සත්කාරක ඉන්දීය ලෙජන්ඩ්ස් පිල සහ ශ්රී ලංකාව අතර රායිපූර්හිදීම පැවැත්වේ. මේ කණ්ඩායම් දෙක ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසන් මහා තරගයේදී හමුවන දෙවැනි අවස්ථාව මෙය වන අතර, පළමු තරගාවලියේදීත් දෙපිල හමු වූ අතර, එහිදී ඉන්දියාවට ශූරතාව හිමි විය.
රායිපූර්හිදී ඊයේ රාත්රියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බ්රයන් ලාරා මෙහෙයවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් ශ්රී ලංකාව මේ අවස්ථාව උදා කර ගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්රී ලංකා පිල දුන් ලකුණු 173ක ඉලක්කය හමුවේ කොදෙව් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 158ක් පමණි.
ශ්රී ලංකා ලෙජන්ඩ්ස් – 172/9 (ඕවර 20) ඉෂාන් ජයරත්න 31, සනත් ජයසූරිය 26, ජීවන් මෙන්ඩිස් 25, ඉසුරු උදාන 16 (දේවේන්ද්ර බිෂූ 17/2, ක්රිෂ්මර් සැන්ටෝකි 26/2)
කොදෙව් ලෙජන්ඩ්ස් – 158/7 (ඕවර 20) නර්සිං ඩියොනරින් 63, ඩ්වේන් ස්මිත් 23 (නුවන් කුලසේකර 26/2, සනත් ජයසූරිය 26/2)

