T20 ලෝක කුසලානයට සිංහයන් කැන්ගරු දේශයට (Photos)

T20 ලෝක කුසලානයට සිංහයන් කැන්ගරු දේශයට (Photos)

ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනේ පිටත්ව යනු ලැබිය.

ඔවුන්ට සමුදීම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම ක්‍රිකට් ආයතන නිලධාරීන් ද එක්විය.

ලබන (16) වැනිදා මෙම තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම කල් වේලා ඇතිවම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ලබන්නේ එහි පවතින තත්ත්වයන්ට කල් තියා හුරුවීම අරමුණු කර ගනිමින් බවය.

සුපිරි කණ්ඩායම් 12 අතර තරඟ වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි විය යුතු වන අතර එම තරගාවලිය ලබන (16) වැනිදා නැමීබියාවට එරෙහි සටනින් ආරම්භ වෙයි.

මෙම තරගාවලියේ වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරන කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 12 අතර තරඟ වටය විවෘත වනු ඇත.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරඟ 2 කට ක්‍රීඩා කරන අතර අනතුරුව සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ තරඟ 3කට ක්‍රීඩා කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය ආරම්භයට පෙර තම කණ්ඩායමට පුහුණු තරග 2කට අමතරව සුදුසුකම් ලැබීමේ තරග වට‌ය යටතේ වන තරග 3ට ක්‍රීඩා කිරීමට ලැබීම කණ්ඩායමේ වාසියට හේතු වනු ඇති බවයි.

ගතවූ වසර කීපයේදී විස්සයි-20 තරග අංශය තුළ දක්වන ලද දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී යනු ලැබිය.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවන නමුත් ඔස්ට්‍රේලියාවේ තණතීරුවලට හුරුවීමට එමගින් වඩාත් හොඳ අවස්ථාවන් නිර්මාණය කර දෙන බව නායකයා මෙන්ම පුහුණුකරුවාගේද අදහස වී ඇත.

ඡායාරූප :- Sri Lanka Cricket