ශ්‍රී ලංකාව සාගත තත්ත්වයක් අබියසට

ලොව පුරා රටවල් 45ක මිලියන 50ක පමණ ජනතාවක් උග්‍ර ආහාර අර්බුදයක් අබියස සිටින බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.
එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේදී ශ්‍රී ලංකාව ද මුහුණ පා සිටින ආර්ථික අර්බුදයත් සමඟ සාගත තත්ත්වයක අවදානම අබියසට ගමන් කරමින් සිටින බවයි.
ලෝක ආහාර වැඩසටහන සැප්තැම්බර් මාසයේ නිකුත් කළ වාර්තාව මගින් ගෝලීය වශයෙන් රටවල් මුහුණ දෙන සාගත තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව ලොව පුරා රටවල් 45ක මිලියන 50 ක පමණ ජනතාවක් සාගත තත්ත්වයක් අබියස සිටින බවත්, මිලියනකට ආසන්න පිරිසක් මේ වනවිට උග්‍ර සාගත තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවත් එම වාර්තාවේ සඳහන්.
ඇෆ්ගනිස්ථානය, ඉතියෝපියාව, සෝමාලියාව, දකුණු සුඩානය සහ යේමනය සාගත තත්ත්වයන්ට මුහුණ දෙන රටවල් අතර ප්‍රමුඛස්ථානයේ සිටින බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.
යුක්රේන අර්බුදය හේතුවෙන් ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි බලපෑමක් එල්ල වී ඇති බවත්, මේ හේතුවෙන් ලොව පුරා ඇතැම් රටවල් මානුෂීය අර්බුදයක් දක්වා ඇදී යමින් සිටින බවත් එම වාර්තාවේ සඳහන්.
ශ්‍රී ලංකාවද වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව ආහාර සපයා ගැනීම සීමාසහිතව සිදුකරන මට්ටමක් දක්වා වර්ධනය වීම හේතුවෙන් පෝෂණ හා ආහාර අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් රුපියල් මිලියන 4,600ක වටිනකමින් යුත් ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට ලබාදීමට පියවර ගෙන ඇති බව ජනධිපති මාධ්‍ය අංශය පවසනවා.
ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනකොටස් සඳහා මෙම ආධාර සපයා ඇත්තේ එරට ආයතන තුනක මැදිහත්වීමෙන්.
මේ අතර, රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලෝක සන්නාමකරණ දර්ශකයන්ගෙන් ඉහළට පැමිණීම අත්‍යවශ්‍ය බවයි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ප්‍රකාශ කළේ.

