ජනපතිගෙන් යළි සියලු දේශපාලන පක්ෂවලට ආරාධනාවක්

2023 වසරේ ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පක්ෂ දේශපාලනයෙන් බැහැරව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ආහාර නිෂ්පාදනය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථාන සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයාමේ බව පැවසීය. අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේදී අද (15) මෙම රැස්වීම පැවැත්විණි.
මේ වනවිට ඉතා අසීරු කාලයක් පසු කරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතරතුරදී ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා කීය.
අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සහ ධීවර ගැටලු රැසක් පිළිබඳ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කෙරණු අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ද උපදෙස් දුන්නේය.




