2023 මාර්තුවට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නෑ

ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නො මැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහ මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර දෙකහමාරකට පසුව බවයි.
“මහ මැතිවරණයක් පවත්වන්න නම් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ. පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාටවත් බලයක් නෑ ලබන අවුරුද්දේ මාර්තු වෙනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. පාර්ලිමේන්තුව පත්වෙලා වසර 2 හමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන් බෑ. එහෙම නැත්නම් වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීමත් පිළිගන්නවා ද නැද්ද කියන එකේ පූර්ණ, පරම අභිමතය තියෙනවා ජනාධිපතිවරයාට. ඒක පිළිගන්නත් පුළුවන්. නොපිළිගන්නත් පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව අනුව. එය නොපිළිගත්තොත් කරන්න දෙයක් නෑ. ඒ නිසා මහ මැතිවරණය ගැන හිතන්න වෙන්නේ ඉදිරි කාලයේ මේ තියෙන සීමා යටතේ.”යනුවෙන් ඔහු කියා සිටියා.
මේ අතර පළාත් සභා මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

