පාලමක් කඩා වැටී 91ක් මරුට

පාලමක් කඩා වැටී 91ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 91 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

වසර 100ක් පමණ පැරණි මෙම පාලම ඊයේ (30) පස්වරුවේ කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

බෝට්ටු 6ක්, ගිලන් රථ 6 ක් සහ ගලවා ගැනීමේ කටයුතු සඳහා වෑන් දෙකක් මෝර්බි වෙත යවා තිබෙනවා.

ඊයේ සවස 6.42ට පාලම කඩා වැටී ඇත්තේ 500ක පමණ පිරිසක් පුජාවකට අදාළව චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් සිදු කිරීමට එහි රැස්ව සිටියදීයි.

විදෙස් වාර්තාවලට අනුව, 100 දෙනෙකු පමණ තවමත් කඩා වැටුණු සුන්බුන් අතර ගඟේ සිරවී සිටින බවටයි සැක කෙරෙන්නේ.

ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

බොහෝ දෙනෙක් ජලයේ පිහිනමින්, අඳුරේම ඉවුර වෙත ළඟා වීමට උත්සාහ දරා තිබුණා.

මියගිය පිරිසගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් සහ ළමුන් බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. තවත් පිරිසක් බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මීටර් 230ක (අඩි 754) දිගකින් යුත් පාලම බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දක්. එම කේබල් පාලම ප්‍රතිසංස්කරණය කර මහජනතාව සඳහා නැවත විවෘත කර තිබුණේ පසුගිය 26 වනදායි.

මෙම අනතුර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් සටහන් තබමින් සිය ශෝකය පළකර ඇති අතර බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

මේ අතර මෙම ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන අතර ප්‍රාන්ත රජය විසින් මියගිය එක් අයෙකුගේ පවුලට රුපියල් ලක්ෂ 4ක් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ලබා දෙන බව ගුජරාට් ප්‍රාන්ත මහ ඇමති භූපේන්ද්‍ර පටෙල් ප්‍රකාශ කළා.

මෙම පාලම කඩා වැටීමේ වගකීම රජය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

https://bit.ly/3WfAvMm