උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යළි කල්දාන්නෙ නැහැ – අධ්‍යාපන ඇමති

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යළි කල්දාන්නෙ නැහැ – අධ්‍යාපන ඇමති

උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දිනත් උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 17 දින දක්වාත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන ලෙස එම විභාගයට දෙවැනි හා තුන්වන වර පෙනී සිටින සිසුන්ගෙන් විශාල ලෙස ඉල්ලීම් ලැබුණු බවත් ඊට පක්ෂව පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන් ද අදහස් දැක්වූ බවත් අධ්‍යාපන ඇමතිවරයා කීය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු යළිත් වරක් විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට ඒ සඳහා සූදානම් වීමට කාලය තිබුණේ මාස තුනකුත් සතියක් වැනි කෙටි කාලයක් බව ද ඔහු පැවසුවේ ය.

කොවිඩ්-19 තත්ත්වයත් සමඟ රටේ මතු වූ නොයෙකුත් ගැටලු සහගත තත්ත්ව ද පළාත් නවයේ විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් ද සමීක්ෂණයක් සිදුකර ලබාගත් දත්ත පදනම් කර ගනිමින් අදාළ කල් දැමීම කළ බවත් හෙතෙම අවධාරණය කළේ ය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන දැනට නියම කරන ලද දිනවල විභාගය පැවැත්වීමට සැලසුම් කළ බවත් නැවත දීර්ඝ කිරීමක් කරන ලෙස කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් ලැබී නොමැති බවත් අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ ය.