සීනි බදු සහනය හේතුවෙන් අහිමි වූ ආදායම යළි අයකරගන්න රජය සැරසෙයි

සීනි බදු සහනය හේතුවෙන් අහිමි වූ ආදායම යළි අයකරගන්න රජය සැරසෙයි

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දැනට පවතින නීතිය යටතේ එම මුදලෙන් 24%ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අය කර ගැනීමේ හැකියාව ඇති බව යි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අදාළ සීනි බදු අඩු කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09) මේ බව කියා සිටියා.

2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවැති මිල ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමුණා.

එහෙත් අදාළ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නො දී ආනයනකරුවන් අත තබා ගැනීමෙන් රජය කැප කළ ආදායම රුපියල් කෝටි 1776ක් ලෙස යි ගණන් බලා ඇත්තේ.

එසේ ආදායම් තමා අත රඳවා ගත් සමාගම් 10ක් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45%ක් ආනයනය කර තිබෙනවා.

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණ අදාළ සමාගමේ සීනි ආනයනය 1220% ගුණයකින් ඉහළ ගොස් ඇතැ යි විගණකාධිපති වාර්තාව මඟින් ද පෙන්වා දෙනවා.

දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාර ව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන අතර, පවතින නීති තත්ත්වයන් යටතේ අය කර ගත හැකි මෙම මුදල අය කර ගැනීමට සහාය දක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වවලින් අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

රන්ජිත් සියඹලාපිටිය වැඩි දුරටත් කියා සිටියේ, ඉදිරියේ දී මෙවැනි හදිසි බදු අඩු කිරීම් පිළිබඳ තීරණ සියලු පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමකින් තොර ව සිදු නො කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව යි.