රුපියල බාල්දුවීමට හේතුව මහ බැංකු අධිපති කියයි

රුපියල බාල්දුවීමට හේතුව මහ බැංකු අධිපති කියයි

රට තුළ රුපියල බාල්දුවීමට සහ උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත බව අද (15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ඉතාම අනතුරුදායක තත්ත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව විසින් හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්ත්වයක පවතින බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බේ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්ත්වයක. ඒ අනුව අපිට ණය ගෙවන්න තවදුරටත් හැකියාවන් නොමැතිව තියෙද්දී මහ බැංකුවෙන් 203ට රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධනවලට වියදම් කරලා.”

“එහෙමත් බැරිවුණාම තමයි මාර්තු මාසයේ රුපියල පා කරලා ඇරියේ. කිසිඳු පාලනයකින් තොරව. එතනදි තමයි රුපියල 203 ඉඳලා එකපාරටම 365, 380ට ගියේ.”

දිගටම මුදල් අච්චු ගැසීම නිසා ඊට පස්සේ උද්ධමනය වැඩිවෙනවා. එතකොට අපිට කරන්න තිබුණු ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක.”

ඒ අනුව තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය දැඩි වශයෙන් ඉහළ නංවලා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළේ.”

“ඒත් සමඟම මුදල් අච්චු ගැසීම අඩු කරලා ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා.”

ඒ සියලු පියවර නිසා කුඩුපට්ටම් වෙන්න ගිය ආර්ථිකය දැන් යම් ආකාරයකින් ස්ථාවර වෙමින් පවතිනවා. මින් ඉදිරියට අපිට කරන්න තියෙන්නේ හැමෝටම වාසිවෙන විදිහේ ආර්ථිකයක් හදාගැනීම. ඒ වගේම අපිට වැරදුනු තැන් හොයාගෙන ඒවාට විසඳුම් ගේන අතරේ ඒ තැනට යළිත් නොයන විදිහේ කටයුතු කිරීම.” යනුවෙන් පැවසීය.