කබ්රාල්ටත් වඩා නන්දලාල් මුදල් අච්චු ගහලා – උදය ගම්මන්පිල (Video)

මුදල් අච්චු ගැසීමේ ආදීන බව කියමින් මහබැංකු අධිපති ධුරයට පත් ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉතිහාසයේ වැඩි ම මුදල් අච්චු ගැසූ මහබැංකු අධිපතිවරයා බවට පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.
2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාල විවාදයේ දී පාර්ලිමේන්තුවට අදහස් දක්වමින්. එහි දී මෑත වසර කිහිපය තුළ මහ බැංකු අධිපති ධුරය හෙබ වූ මහබැංකු අධිපතිවරුන් කිපදෙනෙකුගේ සමයන්වල දී මුද්‍රණය කරන ලද රුපියල් ප්‍රමාණයන් සඳහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ,
“මුලින්ම මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ තනතුර භාරගනිමින් කිව්වේ තමන්ගේ පූර්වගාමීන් දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඇති වෙලා රටේ ආර්ථික අර්බුදය තීව්ර වෙලා තියනවා කියලා.
එහෙම කිව්ව එතුමා තමයි මේ වනවිට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහබැංකු අධිපතිවරයා බවට පත් වෙලා තියෙන්නේ.“ මේ කතාවෙ ඇත්ත නැත්ත අපි ඉලක්කම් එක්ක අවබෝධ කරගත යුතුයි. මහාචාර්ය ඩබ්ලියු.ඩී ලක්ෂ්මන් මහබැංකු අධිපති ධූරයේ සිටිය දී, 2020 මාර්තු 13 සිට 2021 සැප්තැම්බර් 14 වනදා දක්වා තිබෙන දින 551 තුළ රුපියල් බිලියන 1260ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියනවා. ඒ කියන්නෙ මුදල් අච්චු ගහලා තියනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් දවසකට රුපියල් බිලියන 2.18 බැගින් ඔහු මුදල් අච්චු ගහලා තියනවා.
ඊළඟට එනවා නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති තුමා. එතුමා 2021 සැප්තැම්බර් 15 දා සිට 2022 අප්‍රේල් 05 දක්වා දින 203ක කාලය තුළ රුපියල් බිලියන 446ක නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියනවා. ඒ කියන්නෙ එතුමා දිනකට රුපියල් බිලියන 2.2 ගානෙ මුදල් අච්චු ගහලා තියනවා. ලක්ෂ්මන් මහත්තයගෙ වාර්තාව කබ්රාල් මහත්තයා බිලියන දශම ගාණකින් වැඩියෙන් කරලා බිඳහෙලනවා.
ඊට පස්සේ එනවා මුදල් අච්චු ගැසීමේ ආදිනව ගැන මාධ්‍ය පුරා අපට වැදි බණ දෙසූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා. එතුමා 2022.04.06 දා සිට සැප්තැම්බර් 30 දා දක්වා කාලය තුළ දින 175ට රුපියල් බිලියන 590ක් නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියනවා. ඒ කියන්නෙ එතුමාගෙ කාලය තුළ දිනකට රුපියල් බිලියන 3.37ක මුදල් අච්චු ගහලා තියනවා.
කබ්රාල් යුගයේ වාර්තාව නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපති බිඳහෙලන්නෙ කබ්රාල් යුගයට වඩා දෛනික මුදල් අච්චු ගැසීම සියයට 55කින් ඉහළ දැමීමෙන්. කබ්රාල් ලක්ෂ්මන් යුගවල දි අපි ඩොලර් බිලියන ගණනින් ණය ගෙව්වා. ණය ගෙවන්න ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය නිසා රුපියල් අච්චු ගහන්න සිද්ධ වුණා. ණය ගෙවීමත් නතර වෙලා තියන මේ යුගයේ මොකටද මේ රුපියල් අච්චු ගැහුවෙ කියන එක හැමෝටම ප්‍රශ්නයක්? ආණ්ඩුවේ ආදායම ඇදගෙන වැටුණත් වැටුප් ගෙවන්න ඕන. විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන. සමෘද්ධි වැනි සහනාධාර කොහොමත් ගෙවන්න ඕන. ආණ්ඩුවට සල්ලි නැතිනම් මුදල් අච්චු ගසා හෝ මේ වියදම් දරන්න සිද්ධ වෙනවා. නමුත් මේ අය වැය බැලුවම පෙනෙන්නෙ ආණ්ඩුව හැසිරෙන්න හාරලක්ෂය ඇදුන මුදලාලි වගේ කියලා.“ යනුවෙන් පැවසීය.

