“මැන්ඩවුස්” අද තමිල්නාඩු යයි – මෙරට ප්‍රදේශ කිහිපයකට තද සුළං

යාපනයේ සිට කිලෝමීටර 230ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථාපිතව පවතින මැන්ඩවුස් සුළි කුණාටුව අද (09) රාත්‍රිය වන විට උතුරු තමිල්නාඩුව දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ හේතුවෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 60 – 70ක් පමණ තද සුළං අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම උතුරුමැද පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්තයට අධික වැසි ලැබෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
චෙන්නායි, තිරුවල්ලූර් ඇතුලු දිස්ත්‍රික්ක 12ක පාසල් දැනටමත් වසා දමා තිබෙනවා. එමෙන්ම නැවත දැනුම්දෙන තුරු සියලුම උද්‍යාන සහ ක්‍රීඩා පිටිද වසා දමන ලෙස චෙන්නායි බලධාරීන් නියෝග කර ඇති බව සඳහන්.
තමිල්නාඩුවේ ස්ථාන රැසක රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, සුළි කුණාටුව පැයට කිලෝමීටර 65ත් 75ත් අතර වේගයකින් පුදුචේරි සහ ශ්‍රිහරිකෝටා අතර චෙන්නායි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.
ඉන්දියාවේ සිට දූවිලි අංශු වැඩි වශයෙන් මෙරට වායුගෝලයට ගලා ඒමට ද හේතුවක් වුණේ මෙම සුළි කුණාටු බලපෑමයි.

