ඇල්ල සංචාරක කලාපය සංවර්ධනයට පුළුල් සැලැස්මක්

ඇල්ල සංචාරක කලාපය සංවර්ධනයට පුළුල් සැලැස්මක්

ඇල්ල සංචාරක කලාපය පුළුල් සැලස්මක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. ඊට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නා. මාස හතරක් අතුළත අදාල සංවර්ධන සැලස්ම සකස් කර තමාට ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.

සංචාරක, නාගරික සංවර්ධන සහ පරිසර යන අමාත්‍යාංශ එක්ව එම සැලැස්ම සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ඇල්ල ව්‍යාපාරික සංගමය සමග එම ප්‍රදේශයේ අද පැවති සාකච්චාවකදීයි. සංචාරක ආකර්ශනයට ලක්ව ඇති එම කලාපය විධිමත් හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහදී පෙන්වා දී තිබෙනවා.

සංචාරක ආකර්ශනයට බාධාවක් නොවන අයුරින් සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් ඉදිකිරීම් සිදුකිරීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කෙරුණා. පළමු අදියර යටතේ ඇල්ල සංචාරක කලාපය සංචාරකයින්ගේ ආකර්ශනීය ගමනාන්තයක් බවට පත්කිරීම සැලසුමයි. පසුව එය ඌව පළාතේම සංචාරක තෝතැන්නක් බවට පත්කිරීමට ක්‍රියාකාරන බවයි, ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.