අරගලයට අයිස්, කුඩු, ගංජා දීලා මිනිස්සුන්ව පාවිච්චි කළා – ප්‍රසන්න රණතුංග

කුඩු, ගංජා, අයිස් විකුණන පිරිසක් එම ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා අරගලකරුවන් පාවිච්චි කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා සහ අාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.
දේශපාලඥයන්ද සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගලය පාවිච්චි කළ බවත් අද අරගලකරුවන් සත්‍ය පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ වෙළෙඳ පොළ භූමියේ පැවති රැස්වීමක් අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,
ප්‍රශ්නය;- ඇමතිතුමා මොකක්ද මේ අරගලයේ ප්‍රශ්නය මෙතන ?
පිළිතුර:- අරගලයේ අය ඇවිල්ලා දැන් අපිත් එක්ක සාමකාමී වෙලා අපිත් එක්ක වැඩ කරන්න ඉල්ලීම කරන්නේ, ඒ ගොල්ලෝ නොදැනුවත්ව ඒ ගොල්ලන්ව එක එක අය පාවිච්චි කරලා තියෙනවා. අරගලයට අයිස්, කුඩු, ගංජා දීලා මිනිස්සුන්ව පාවිච්චි කළා. දැන් ඒ ගොල්ලෝ පාපොච්චාරණය කරනවා.
තමුන්ගේ තියෙන අර්බුද වලට පීඩනයට පත් වෙච්ච ජනතාව සාමකාමී අරගල කළාට, මේ රටේ සාමය නීතිය විනාශ කරලා ඒ හරහා තමන්ගේ කුඩු ව්‍යාපාර ගණිකා ව්‍යාපාර, ගංජා, අයිස් විකුණන්න තමයි අරගලය පාවිච්චි කළේ
ප්‍රශ්නය:- ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන්න බැරිද?
පිළිතුර:- ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන් නැහැ නේ, කුඩු ගැසීම ප්‍රජාතන්ත්‍රවාදී ද ? අයිස් ගහලා ගෙවල් ගිනි තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදී ද ? ඒවාට නායකත්වය දෙන දේශපාලන නායකයෝ තමන්ගේ දේශපාලන කටයුතු ඉටු කර ගන්න හදන්නේ, ඒවා බැහැ දැන් යනුවෙන් පැවසීය.

