තද සුළං සහිත වැසි

තද සුළං සහිත වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති බවත්, එම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් තිබෙන බවත් ඒ හේතුවෙන් අද (24) සහ ඉදිරි දින කිහිපයේදී (දෙසැම්බර් මස 24, 25 සහ 26 යන දිනයන්හි දී) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (24) දිනයේ දී උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන් ම උතුරු, නැගෙනහිර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි.

එසේ ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.