අපේ රටේ තියෙන්නේ VVIP සමාජවාදයක් – සජිත් ප්‍රේමදාස

අපේ රටේ තියෙන්නේ VVIP සමාජවාදයක් – සජිත් ප්‍රේමදාස

දැන් ඇත්තේ VVIP සමාජවාදයක් බව විපක්ෂ නායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ මාතර ඌරුබොක්ක ජාතික පාසල සඳහා බස් රථයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස,

“බස් රථ පරිත්‍යාග කිරීමේ වැදගත්කම සමහරු දන්නේ නැහැ, සමහරුන්ට තේරෙන්නේ නැහැ, බස් රථ පරිත්‍යාග කරනවලු, බස් රථ පැදගෙන එනවලු, බස් රථ පදවන රියැදුරන් කොහොමද රටේ ජනාධිපති වෙන්නෙලූ, කවුද මේ කියන්නේ ? නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටින ලොකුම සමාජවාදී ප්‍රතිපත්තිය අනුගමනය කරන කල්ලිය.

මම කැමතියි මේ ගොල්ලන්ව හඳුන්වන්න VVIP සමාජවාදීන්, ඒ අය අදින්නේ එසේ මෙසේ ඇඳුම් නෙවෙයි, යුරෝපා රටවල කෝටිපති පවුල්වල ප්‍රභූ පැලැන්තිය අදින ඇඳුම් තමයි මේ රටේ මහා ලොකු නිර්ධන පන්තියේ සමාජවාදී නායකයෝ ටික අදින්නේ. එහෙම ඇඳ ඇඳ කියනවා බස් රථ දීම පාපකර්මයක් කියලා.

මම දන්නවා ඔය විවේචනය කරන කට්ටියට වැඩ බෑ, ඒ අය කරන්නේ වැඩ බැරි ටාසන්ලා හැටියට වැඩ කරන පුද්ගලයින්ගේ ගමන නතර කරන එක” යනුවෙන් පැවසීය.