මේ වසරේ උද්ධමනය සහ පොලී ප්‍රතිශත අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා

රටේ ආර්ථිකය වඩාත් යහපත් කිරීම උදෙසා මෙම වසර මුල් කාර්තුවේ පොළී අනුපාත පහත හෙළා උද්ධමනය අඩු කිරීම ඉලක්ක කොටගෙන මේ වනවිට වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මේ වන විටත් උද්ධමනය යම් අඩුවීමකට පත්ව ඇතැයි කී මහ බැංකු අධිපතිවරයා මෙම වර්ෂයේ පළමු කාර්තුව පමණ වන විට උද්ධමනය තව දුරටත් පහළ යනු ඇතැයි ද කීවේය.
මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා ඊයේ ( 01) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගත්තේ ය. අනතුරුව හෙතෙම මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදුටු අතර පසුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේ ය.
මහ නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ වගකීම මෙම වර්ෂයේදීත් දරන බව කීවේ ය.
ඉකුත් වර්ෂයේදී පැවති ආර්ථික අසීරුතාවලින් මිදී රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක් කරා රැගෙන ඒමට අපේක්ෂා කරන බව ඒ හෙතෙම සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වන උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් පවතින බවත් මේ වන විට සැලකිය යුතු අයුරින් උද්ධමනය පාලනය වෙමින් පවතින බව හෙතෙම පැවසීය.
එමගින් පොළී අනුපාතය පහළ යන බව ත් රටේ ජනතාවට අසීරුකම්වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවන බව ත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කීවේ ය.

