පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

නව වසරේ පළමු පොහොය දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ.

මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සලකුණක් සනිටුහන් කරමින් බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කළේ ද අද වැනි පොහෝ දිනක ය.

බුද්ධත්වයෙන් 9 වන මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළහ.

වර්තමානයේ මහියංගන ස්ථූපය ඉදිකර ඇති ස්ථානයේ ඉහළින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එහිදී යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර පැවති ආරවුලක් සංසිඳවූ බව බෞද්ධ පොත පතෙහි සඳහන් වේ.

එම ගමනේදී බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේෂ ධාතු නිධන් කර සුමන සමන් දිව්‍ය රාජයා විසින් මහියංගණය චෛත්‍යය ඉදි කරනු ලැබ තිබේ.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුව ඇත.

බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.