හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවය අදයි

හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවය අදයි

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

සූර්ය වන්දනාව මුලික කරගත් අස්වනු නෙලීමේ මංගල්‍යය ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය දකුණු ඉන්දියාවෙන් ආරම්භ වු අතර මේ වන විට එය ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබයි.

නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි.

ස්වභාවධර්මය සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතුරින් මේ උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකියි.

වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද අලුත් උක් ගසකින් ගත් පැණි ද එළකිරි ද යෙදු කිරිබත්ද මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක්ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර කිහිපයකි.

තෛපොංගල් උත්සවය මෙරට හින්දු බැතිමතුන්ගේ ද ඉතා වැදගත් ආගමික සංස්කෘතික උළෙලක් ලෙසයි සැලකෙන්නේ.