දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසමෙන් උපදෙස් මාලාවක්

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසමෙන් උපදෙස් මාලාවක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කිරීමත් සමඟ ඡන්ද විමසීමට අදාළව ගත යුතු ඉදිරි පියවර පිලිබඳ උපදෙස් මාලාවක් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරීද අත්හිටුවන බව දැනුම් දී ඇත.

සති අන්ත හා රජයේ නිවාඩු දින ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළයුතු බවද අදාළ ලිපියේ දැක්වෙයි.

කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සතිඅන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු වෙයි.

දැනට සේවයේ යොදවා ඇති අනියම් සහයකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළයුතු වෙයි.

කාර්යමණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බවද එම ලිපියේ සඳහන්වී තිබේ.

කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් පෙන්වාදී ඇත.

COMMENTS