ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරනවා

ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරනවා

ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බව ජනපති පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (08) බත්තරමුල්ලේ දී පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවයේ දීයි.

ආසියානු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

“ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ඒ සඳහා පිටිවහලක් වනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

සාර්ක් සංවිධානය තුළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සඳහන්ව නැති බැවින් එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සාර්ක් රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ මෙරට දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද අවධාරණය කළා.

“2023 ජාත්‍යන්තර කාන්තා දිනය” වෙනුවෙන් අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණු අතර එහිදී ආචාර්ය සුජාතා අත්තනායක, කලාශූරී ශ්‍රියානි අමරසේන, අනුල ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන අය සම්මාන ලැබූවා.

තවද, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගත් හොඳම කාන්තා ව්‍යවසායකයන් 25 දෙනකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරුණා.