රජයෙන් යහපත් ප්‍රතිචාරයක් – වෘත්තීය සමිති රැසක් වර්ජනය අතහරී

දුම්රිය, වරාය, ජල, විදුලි, අධ්‍යාපන සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල වුණා.
බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ත්රීව්රතාවය අඩු කිරීමට එම එකමුතුව ඊයේ පස්වරුවේ ඒකමතිකව තීරණය කළා.
ඒ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ලැබුණු ධනාත්මක ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර තිබු වැඩ වර්ජන අද (16) සිට තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.
තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්රවල වෘත්තීය සමිති 40ක් ඊයේ (15) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
මේ හේතුවෙන් ඇතැම් ක්ෂේත්රයන්හි දෛනික කාර්යයන්වලට දැඩි බාධා එල්ල වීමත් සමඟ ජනතාව ද ඉන් පීඩාවට පත් වුණි.
කෙසේවෙතත් අද දිනයේ සිට තාවකාලිකව එම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබු වැඩවර්ජනය ද අද පෙරවරු 8.00 සිට තාවකාලිවක අත්හිටුවීමට පියවර ගන්නා බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර අද සිට දුම්රිය ධාවන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුකිරිමට බලාපොරොත්තු වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.යු.කොන්තසිංහ මහතා පැවසුවේය.
එමෙන්ම ගුරු වෘත්තීය සමිති ද සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අද සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් තම සංගමයේ ඉල්ලීම්වලට සෑහිමට පත්විය හැකි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ ඊයේ රාත්‍රී රැස්වු එම සමිති සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

