අලි අඟල් වලට වාරණයක්

අලි අඟල් වලට වාරණයක්

වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

එස්ග තුරෙයිරාජා ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ. පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අලි අඟල් කැපීමේ ව්‍යාපෘතිය පාරිසරික නීති රීතීන්ට පටහැනි ආකාරයෙන් සිදුවන බව පෙන්වා දුනි.

එය ක්‍රියාත්මක කිරීමට පෙර පාරිසරික ඇඟයීම් වාර්තා කිසිවක් ලබාගෙන නොමැති බව ඔහු පැවසීය.

මෙම අගල් කැපීම නිසා කුඩා සතුන්ට මෙන්ම ගස්කොළන් ජල පෝෂක ප්‍රදේශ වලටද දැඩි හානි සිදුවන බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එහි විභාගය සඳහා සැප්තැම්බර් 22 වනදා පැවැත්වීමට නියෝග කළේය.