ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේ දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී යි.

මෙහිදි වැඩිදුරටත් තීරණය වී ඇත්තේ, අදාළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි.

එම සන්ධානය ගොඩනැගීම සඳහා පක්ෂ නායකයා ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගත යුතු බවටත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව තීරණ වී ඇතැයි වාර්තා වේ.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ එම පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන්.

පෙරේදා (07) රැස් වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බවයි වාර්තා වී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවයි එම පක්ෂය නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.