කළුතර සිසුවියක මියයෑමේ සිද්ධියට අදාළ හෝටලයට නීතිමය පියවර

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ පස්මහල් හෝටලය නීති විරෝධී ඉදිකිරීමක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
එබැවින් ඊට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මහතා වැඩිදුරටත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා වෙත උපදෙස් දී ඇත්තේ එම ඉදිකිරිම සම්බන්ධව කඩිනම් විමර්ශනයක් කොට තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙසයි.
2010 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති මෙම ගොඩනැගිල්ල 2014 වසරේදී අවසන් කර තිබෙනවා.
මේ වන විට එම ගොඩනැගිල්ල ලැගුම්හලක් සහ ආපනශාලාවක් ලෙස පවත්වාගෙන යන බවයි වාර්තාවන්නේ.
නමුත් කලුතර නගර සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත්තේ ආපනශාලාවක් හා ලැගුම්හලක් පවත්වාගෙන යාමට ආයතන හිමිකරු විසින් මෙම වසර වෙනුවෙන් බලපත්රයක්ද ලබාගෙන නොමැති බවයි.
අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූල නොවීම සහ පිටුපස අවකාශය ආලෝකය සහ වාතාශ්‍රය සඳහා වන රෙගුලාසි උල්ලංගණය කර ඇති බවයි.
සියලු කාරණා සලකා බලා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පනත ප්‍රකාරව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවයි.

