පාසල් දරුවන්ගෙන් තුනෙන් එකකට උදේ කෑම නෑ

පාසල් දරුවන්ගෙන් තුනෙන් එකකට උදේ කෑම නෑ

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් එනම් දා හතර ලක්ෂයකට උදෑසන ආහාරය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

එම දරුවන් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රකාශ කර සිටිනවා.

උදෑසන ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය මෙන් ම ශරීරයේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපාන බව එම පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් රටේ පවතින නරක ආර්ථික තත්වය දරුවන්ට එරෙහි අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමටද ප්‍රධාන හේතුවක්වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

පවතින ආර්ථිකය අභිමුව දෙමාපියන්ට දරුවන් සඳහා පෝෂණ ගුණයෙන් පිරි ආහාර වට්ටෝරුවක් ලබා දීමට ප්‍රමාණවත් තරමේ ආර්ථික ශක්තියක් නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.