ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ මාධ්‍ය වාර්තා ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ මාධ්‍ය වාර්තා ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට මාධ්‍ය කිහිපයක පළ කර ඇති වාර්තා ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරනවා.

ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා 2023 මැයි 24 වන දින නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවේ විශ්වසනීයත්වය තහවුරු කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, එම වාර්තාව මහජන පරිහරණය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) වෙබ් අඩවියේ පළ කර තිබෙන බවයි.

එම වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අදාළ දත්ත පිළිබඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබියදී මාධ්‍ය කිහිපයක පළවී ඇති වාර්තා සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවේ දත්ත පරස්පර විරෝධී වීම කණගාටුවට කරුණක් බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික ජනගහණයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි.

පසුගිය වසරේ ජූනි/ජූලි මාස සමඟ සංසන්දනය කිරීමේ දී එය මේ වසරේ 40%ක අඩුවීමකි. මේ අතර දැඩි ආහාර අනාරක්ෂිත භාවයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 66,000ක සිට 10,000දක්වා අඩු වී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

COMMENTS