පබිලිස්ගේ හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පබිලිස්ගේ හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් නමැති ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීන සුපවේදී පබිලිස් සිල්වා මහතාට හිමිවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අදාළ ප්‍රකාශන සමාගම ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව ලබා දෙමිනුයි.

මෙම ග්‍රන්ථයේ කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව කර්තෘ භාගය තමන්ටද හිමි විය යුතු බවටත් ධර්මා සමරනායක යන අය ප්‍රකාශන සමාගමට එරෙහිව නඩු පවරා තිබුණා. එහිදී එම සමාගම පවසා තිබුණේ පැමිණිලිකාරිය සිදුකර ඇත්තේ ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු පමණක් බවයි.

ඊට අදාළ ගෙවීම් සිදු කර ඇති බවද පවසා තිබුණා. එහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමිවන බවයි අදාළ සමාගම තවදුරටත් කියා තිබුණේ. 2013 වසරේදී එම නඩුවේ තීන්දුව ලබා දුන් කොළඹ වානිජ මහාධිකරණය ග්‍රන්ථයේ කර්තෘ අයිතිය පැමිණිලිකාරියට හිමි බවට තීන්දු කර තිබුණා.

ග්‍රන්ථයේ මුද්‍රණය, රදවා ගැනීම හා බෙදා හැරීම වළක්වා ලමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කිරීමටයි එහිදී කටයුතු කර තිබුණේ. ඊට එරෙහිව ප්‍රකාශන සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා.

එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ග්‍රන්ථයේ කර්තෘත්වය පබිලිස් සිල්වා මහතා සතු බවයි.

ඒ අනුව පෙත්සම්කාර සමාගමට රුපියල් විසිපන්දහසක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට වගඋත්තරකාර ධර්මා සමරනායක යන අයට නියෝග කෙරුණා.