ශ්‍රී ලංකන් ප්‍රමාදයෙන් කොරියානු රැකියා අහිමිවීයාමේ අවදානමක්

ශ්‍රී ලංකන් ප්‍රමාදයෙන් කොරියානු රැකියා අහිමිවීයාමේ අවදානමක්

කොරියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය ඊයේ (20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවී තිබේ.

ඒ් නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම ඊයේ දිනයේදී කොරියාව බලා පිටත් කරයැවීමට නොහැකිවී තිබේ.

කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාදවීම නිසා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීම බරපතළ ගැටලුවක් බවට පත්වී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

කොරියානු රැකියා සඳහා පිටත්වී යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කරයැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබුණි.

නමුත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් ඊයේ දිනයේදී කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.

පසුගිය මැයි 23 වනදා ද මේ ආකාරයට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාදවූ අතර එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රීලාංකික ශ්‍රමිකයින් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළ බවද අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත එම ශ්‍රමිකයින් ජුනි 4 වනදා කොරියාව බලා පිටත්කර යැවීමට කටයුතු කළ නමුත් එදිනද එම ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාද වී තිබේ.