අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තයේ අවසන් කරන්න – අගමැති

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තයේ අවසන් කරන්න – අගමැති

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිනුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (27) නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මේ දිනවල අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්‍ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවනවා.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට පසුගිය දිනවල බැංකු ගිණුම් විවෘත කිරීම සදහා දිගු පෝලිම් පැවති අතර ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා.

මේ අතර අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාභ ලබා ගැනීමට අදාළ අයදුම්පත්‍ර භාරදීම සදහා පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඊයේ වාර්තා වුණා.

මෙලෙස මියගියේ නමුණුකුල – පිංආරවත්තේ පදිංචි රාමසාමි කුලන්දවෙලු නමැති 77 හැවිරිදි දෙදරු පියෙක්.

කෙසේ වෙතත් අස්වැසුම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදී වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝග යන නිර්ණායකයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති ගැටලු වහා නිරාකරණයට ගතහැකි පියවර සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව සඳහන්.