LPL පළමු තරඟයේ ජය යාපනයට

LPL පළමු තරඟයේ ජය යාපනයට

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ (30) පැවති සමාරම්භක තරගයෙන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදවා ලකුණු 21 ක ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බො කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල, පළමුව පන්දුවට පහරදීම සදහා ජැෆ්නා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 173 ක්.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් තවුහිත් රිඩෝයි පන්දු 39 කදී ලකුණු 54 ක් ලබාගත්තා.

දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බො කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේදී සියල්ලන් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 152 ක් පමණයි.

නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදී ලකුණු 58 ක් රැස් කළා.

මේ අතර ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතරත්, මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතරත් තවත් තරඟ දෙකක් අද (31) පැවැත්වෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරයේ සමාරම්භය ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සනිටුහන් වුණේ විචිත්‍රවත් උත්සවයකින් අනතුරුවයි.

මෙවරත් සුපුරුදු පරිදි කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන තරගාවලිය ඊයේ සිට ලබන මස පළමු වැනිදා දක්වා මුලික වටයේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉතිරි තරග පල්ලෙකැලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම තරග අගෝස්තු මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතයි.

අවසන් මහා තරගය අගෝස්තු මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙවර ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය ඉවතලන ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කර නිර්මාණය කර තිබීමත් කැපී පෙනෙනවා.

ඒ සදහා කෑන් 2523ක් භාවිතා කර තිබෙන අතර මෙලෙස ප්‍රතිචක්‍රීකරණය ලද කෑන් උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලද පළමු කුසලානය ද මෙය වනවා.

COMMENTS