අලුත් වෙන හැඳුනුම්පත්

අලුත් වෙන හැඳුනුම්පත්

ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණයකර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය රුපියල් මිලියන 450ක් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇති බවයි.

ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණයකර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එම අධීක්ෂණ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වනවිට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවත් එහිදී හෙළිව තිබෙනවා.

ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු මුදලින් 15%ක් හෙවත්, ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දුන්නා.

නිසි කාලරාමුවක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසටත්, සතිපතා රැස්වී එහි ප්‍රගතිය සමාලෝචනය කරන ලෙසටත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

COMMENTS