2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ පොදු මගී ප්‍රවාහනයට

පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට මෙන්ම වසර 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ පොදු මගී ප්‍රවාහනයට එක්කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ දීර්ඝකාලීනව පවතින ගැටලුවලට විසදුම් ලබා දෙමින් ජාතික ප්‍රතිපත්තියක් හදුන්වාදීමට සහ පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහනක් සහ විද්‍යුත් ක්රිකට්පත් හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
මගී ප්‍රවාහන ක්ෂේත්රයේ පවතින කළමනාකාරීත්ව ගැටලු හා අකාර්යක්ෂමතා හේතුවෙන් මගී ජනතාවට හා බස්රථ හිමියන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබදවද මෙහිදී අවධානය යොමුවුනා.
නවීන තාක්ෂණය භාවිත කරමින් මගී ප්‍රවාහන ක්ෂේත්රයේ ගුණාත්මක භාවය ඇති කිරිමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.
ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සම්බන්ධයේ ඇතිවන ගැටලු මගහරවා ගැනීමට ඊ ටිකටින් ක්‍රමය යෝජනා වී ඇති අතර ඊට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළේ.

