නෙදර්ලන්තයේ ඇති පුරාවස්තුවල අයිතිය යළි ශ්‍රී ලංකාවට

නෙදර්ලන්තයේ ඇති පුරාවස්තුවල අයිතිය යළි ශ්‍රී ලංකාවට

නෙදර්ලන්තයේ ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තුවල අයිතිය නැවත මෙරටට ලබා දීමට අදාළ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලු මහත්මිය ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වේ.

ඇය ඇතුළු නෙදර්ලන්ත සංස්කෘතික නියෝජිත පිරිසක් අගෝස්තු 27වැනිදා සිට 31වැනිදා දක්වා මෙම චාරිකාවේ නිරතවනු ඇත.

ඒ අනුව වර්ෂ 1765දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති කෞතුක භාණ්ඩ 6ක් අගෝස්තු 28වැනිදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී නීත්‍යානුකූල ලෙස පැවරීමට අදාළව ලිපි අත්සන් කෙරේ.

රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිම කළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ මේ අනුව ශ්‍රී ලංකාවට භාර දෙනු ඇත.

නෙදර්ලන්තයේ සංස්කෘතික රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙහිදී හමුවීමට නියමිතය.

මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආගමික හා ලන්දේසි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත බව සදහන් කෙරේ.