සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ – ඇමති අමරවීර

සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ – ඇමති අමරවීර

මෙරටට සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නැවතත් අවධාරණය කරනවා.

ඊයේ මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ කෘෂිකර්ම ප්‍රදර්ශනය සහ තරුණ ගොවි සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙවර යල කන්නයේ දී නොසිතූ විරූ ලෙස දැඩි නියඟ තත්ත්වයකට මුහුණ පෑමට ගොවීන්ට සිදු වුණා.

මේ නිසා මේ වන විට වී වගා කළ කුඹුරු ඉඩම් අක්කර 60,000ක් පමණ හානියට පත්ව තිබෙන අතර, ගොවීහු 45,000ක් පමණ වගා හානි නිසා පීඩාවට පත්ව සිටිනවා.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 503,000ක් වගා කරන ලද අතර, දිස්ත්‍රික්ක කිහිපයක් නියඟ තත්ත්වයට ගොදුරු වී තිබුණා.

එසේ වුවද පසුගිය මහ කන්නයේ දී ඉහළ අස්වැන්නක් ලැබුණු අතර, මෙවර යල කන්නයේ වී අස්වනු නෙළන ලද ප්‍රදේශවලින් ද ඉතාමත් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා.

එම නිසා දැනට රට තුළ තිබෙන වී සහ සහල් තොග ඉදිරි මහ කන්නයේ අස්වනු නෙළන තෙක්, ප්‍රමාණවත් වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

එම නිසා රටේ කිසිදු සහල් හිඟයක් ඇති නොවන අතර, ආහාර හිඟයක් ඇති වෙතැයි බියක් ඇති කර ගත යුතු නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සහල් හිඟයක් ඇති වෙතැයි ඇතැම් පිරිස් ප්‍රකාශ කළ ද, එවැනි තත්ත්වයක් ඇති නොවන නිසා සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය ක‍‍ළා.