දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – රාජ්‍ය ආයතන රැසක දත්ත අහිමිවීමේ අවදානමක්

දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – රාජ්‍ය ආයතන රැසක දත්ත අහිමිවීමේ අවදානමක්

දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුලුව රාජ්‍ය ආයතන රැසක දත්ත විශාල ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමකට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හෙවත් ICTA මේ බව නිල වශයෙන් තහවුරු කළේ ය.

ඔවුන් නිලවශයෙන් තහවුරු කළේ, එම අවදානම 2023 මැයි 17 සහ අගෝස්තු 26 අතර එල්ලවූ මහා පරිමාණ වෛරස් ප්‍රහාරයක් හේතුවෙන් සිදුව ඇති බවයි.

ඒ අනුව gov.lk හෙවත් ගවර්න් මන්ට් ඩොට් එල්කේ විද්‍යුත් තැපෑල භාවිත කරන සියලුම රජයේ කාර්යාලවලට මේ දරුණු දත්ත නැතිවීමේ බලපා ඇති බව ICTA විසින් නිල වශයෙන් තහවුරු ක‌ළේ ය.

මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතද පුලුල් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

gov.lk විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් භාවිත කරන රාජ්‍ය ආයතන අතර කැබිනට් කාර්යාලය ඇතුලු රාජ්‍ය අමාත්‍යංශ රැසක් තිබේ.

මේ විද්‍යුත් තැපෑල හරහා ඉතා වැදගත් රාජ්‍ය තොරතුරු හුවමාරු වෙයි.

මෙම ප්‍රහාරය ransomware ප්‍රහාරයක් බවද ශ්‍රී ලංකා තොරතුරුහා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කළේ ය.

මෙමගින් පාර්ලිමේන්තුවේ කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇති බව සඳහන් වෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

“අපේ ICT ආයතනයෙන් ඊමේල් පහසුකම ලබාදීලා තියෙනවා රජයේ ආයතන කිහිපයකට. මධ්‍යම ඊමේල් පහසුකම් නැති ආයතන කිහිපයකට. ඒ පද්ධතිය 2007 වසරේ ඉඳලා අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. 2013 වසරේ ස්ථාපනය කරන්න යෙදුන ඊමේල් පද්ධතිය මේ වනවිට කල් ඉකුත් වු තත්ත්වයක් තමා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පද්ධතිය විවිධ වූ සිකියුරිටි ඇටෑක්වලට පත්වෙලා තියෙනවා. ඒ අනුව ඇටෑක් එකක් ඇවිත් තියෙනවා අගෝස්තු 26 වනදා ඒ සමගම ඒ පද්ධතිය භාවිතයට ගතහැකි තත්ත්වයෙන් ඉවත්වෙලා තියෙනවා. 2014 පස්සේ මේ වෙනකල් යාවත්කාලින කිරීමක් කරලා නෑ. 2021 සහ 2022 උත්සාහ කරලා තියෙනවා යාවත්කාලීන කරන්න. නමුත් ඒකට හැකියාවක් ලැබිලා නෑ. දැනට ICT ආයතනය ඉදිරියේදී මෙවැන්නක් සිදුනොවෙන්න අවශ්‍ය යාවත්කාලීන කටයුතු හා පරිපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යනවා.” යනුවෙනි.

දැනට වසර කිහිපයකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියටද මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබුණා. ඒ පාසල් සිසුවෙක් සිදුකල ක්‍රියාවක් හේතුවෙන්.