උතුරේ රෝහල්වලට දුරකථන භාවිතය තහනම්

යාපනය ශික්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කර ඇති බව වාර්තා වනවා.
උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැළකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් බවට තොරතුරු හෙළි වීමත් සමඟ අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හෙදියට එරෙහිව සාක්ෂි ලබාදී ඇති බොහෝ රෝගීන් ප්‍රකාශ කර ඇත්තේ එම හෙදිය සිය ජංගම දුරකතනය සමඟ කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා අතර රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවයි.
අදාළ කරුණු සැළකිල්ලට ගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට පළමු පියවරක් වශයෙන් ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කර ඇති බව සඳහන්.
කඩිනමින් උතුරේ සියළුම රෝහල්වල හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවලට රාජකාරී අවස්ථාවලදී ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

