දිනා ගත් පදක්කම ශ්‍රී ලංකාවට අහිමිවෙයි

දිනා ගත් පදක්කම ශ්‍රී ලංකාවට අහිමිවෙයි

වසර 17කට පසු ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් දිනා ගන්නට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අවාසනාවන්ත ලෙස අද ගිලිහි ගියා.

ඒ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වේ රිදී පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාව තරගය අවසන් කළත් නියමිත මංතීරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් තරග නොකිරීමේ වරදට එම පදක්කම අහිමි කරන්නට තරග සංවිධායකයින් පසුව පියවර ගැනීමත් සමගයි.

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා තිබුණු මීටර් 400 මිශ්‍ර සහය ඉසව්ව අද පස්වරුවේදී ක්‍රියාත්මක වුණා.

එහිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසියේ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ , නදීෂා රාමනායක සහ තරූෂි කරුණාරත්නයි.

එහිදි අරුණ දර්ශන ලබා දුන් සාර්ථක ආරම්භයෙන් යශ්ටිය නදීෂා රාමනායක වෙත භාර වෙද්දී ඇය අරුණ දර්ශන ගෙන දුන් වේගය එලෙසින්ම රදවා ගත්තා.

අනතුරුව නදීෂා රාමනායකගෙන් එම යශ්ටිය භාර වුණේ කාලිංග කුමාරගේ වෙතටයි.

පසුගිය වර මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ ඉන්දියාව, බහරේනය සහ ශ්‍රී ලංකාව අතර කරට කර සටනකින් පසු ශ්‍රී ලංකාවට පදක්කම් ගෙන දීමේ වගකීම පැවරුණේ යොවුන් ක්‍රීඩිකා තරූෂි කරුණාරත්න වෙතටයි.

අවසන් යශ්ටිය හුවමාරු ද සාර්ථකව අවසන් කළ කාලිංග කුමාරගේ සහ තරූෂි කරුණාරත්න ශ්‍රී ලංකාවට පදක්කම් ගෙන දීමේ අවසන් වටයේ සටන තරූෂි ආරම්භ කළා.

තරූෂිගේ අවසන් වටයේ සුපිරි ධාවනය නිසාම ඉන්දියාව සතුව තිබුණු රිදී පදක්කම උදුරා ගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඉතා තියුණු අවසානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දෙන්නට තරූෂි කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ විනාඩි 3යි තත්පර 14යි දශම 25කින් තරගය අවසන් කරමින්.

කෙසේ වෙතත් තරගය අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියමිත මංතීරුවේ ධාවනය නොකිරීමේ වරදට ශ්‍රී ලංකාවට පදක්කම අහිමි කරන්නට තරග සංවිධායකයින් විසින් පියවර ගත්තා.

මෙම තීරණය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිදු කළත් ඉන් ද තහවුරු වුණේ ශ්‍රී ලංකා සහය කණ්ඩායම නියමිත මංතීරුවේ ධාවනය නොකළ බවයි.

මෙම ඉසව්වේ රන් පදක්කම විනාඩි 3යි තත්පර 14යි දශම 02කින් තරගය අවසන් කළ බහරේනය දිනා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වූ රිදී පදක්කම ඉන්දියාවට ලබා දුන්නා.