පළමු ජය සොයා සිංහයන් අද තරඟ බිමට

පළමු ජය සොයා සිංහයන් අද තරඟ බිමට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්ථානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද (10) තරග බිමට පිවිසීමට නියමිතයි.

එමෙන්ම අද (10) පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය එක්දින ලෝක කුසලාන තරග බිමේ අවස්ථා 8කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් අවස්ථා හතකදීම පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා.

ලෝක කුසලානවලදී අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, අරවින්ද සිල්වා සහ කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය හමුවේ පරාජයට පත්ව තිබේ.

ඒ අනුව දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ එක්දින ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්ථානය පළමුවරට පරාජය කිරීමේ අරමුණින් වීම විශේෂත්වයක්.

පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර පාකිස්ථානය සිය පළමු තරගයේදී නෙදර්ලන්තය පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා තුන්වන ස්ථානයේ පසුවෙයි.