විදුලිබල මණ්ඩලය සියයට 10කින් බිල වැඩි කිරීමට යළිත් අවසර ඉල්ලයි

ඉදිරි වසර දෙකක කාලයක් සඳහා විදුලි ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා.
මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම හා වියදම අතර පරතරය කළමනාකරණය කර ගැනීම සදහා මෙම ගාස්තු ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවයි විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.
විදුලි ගාස්තු සියයට 22 කින් යළි ඉහළ නැංවීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නොගැළපීම් පවතින බැවින් විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙසට පසුගියදා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන්නා.
ඒ අනුව ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ලිපියක් යොමුකර තිබුණා.
මේ වසරේ සැප්තැම්බර් මස 30 වනදා වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාවට, දේශීය පෞද්ගලික විදුලි නිෂ්පාදකයින්ට සියයට 32 ක පොලි ප්‍රතිශතයක් යටතේ රාජ්‍ය බැංකුවකින් ගත් අයිරාවට රුපියල් මිලියන 156,051 ක් ගෙවිය යුතු බවයි එහි සඳහන් වුණේ.
එමෙන්ම සැප්තැම්බර් 30 වනදා වන විට බාහිර පාර්ශවයන් වෙත ගෙවිය යුතු ණය සහ ප්‍රධාන ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 421,818 ක් බවද විදුලිබල මණ්ඩලය යොමුකළ එම ලිපියේ දැක්වෙනවා.
2023 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාල සීමාව තුළ ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂිත සමස්ත ආදායම රුපියල් මිලියන 603,736 ක් වුවද එම කාල සීමාව තුළ අපේක්ෂිත වියදම රුපියල් මිලියන 622,478 ක් බවද එහි සදහන්. ඒ අනුව ආසන්න වශයෙන් ගණනය කර ඇති අතිරික්ත හිගය රුපියල් මිලියන 18,742 ක්.
මේ අතර පුරවැසි මහජන උපදේශන සභාව විසින් සකස්කරන ලද විදුලිබිල සම්බන්ධ වාර්තාව ඊයේ මහජන උපයෝගිතා කොමිසමට භාරදී තිබුණා.

