චීන මුදල් ඇමති ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට සහයදීමට සහතික වෙයි

චීන මුදල් ඇමති ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට සහයදීමට සහතික වෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට මධ්‍ය හා දිගු කාලීන වැඩපිළිවෙළට පූර්ණ සහය දෙන බව චීන මුදල් අමාත්‍ය ලියු කුං මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී තිබෙනවා.

අද චීනයේ බිජීං නුවර දී ඔවුන් හමුවු අවස්ථාවේ දි චීන මුදල් අමාත්‍ය ලියු කුං මහතා පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට ඇති බවයි.

මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඔහු ඇගයීමට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පූර්ණ සහය දෙන බව චීන මුදල් අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීම සහ තරඟකාරී ඩිජිටල් හා හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට, ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සිනොපැක් , BYD ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් හමුවූ බව වාර්තා වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය දැක්වුණේ, ශ්‍රි ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව එහි දී අවධානය යොමු කළ බවයි.

  1. වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම.
  2. වරාය නගර පරිශ්‍රය උදෙසා නව මුල්‍ය නීති රීති සම්පාදනය.
  3. වරාය නගර පරිශ්‍රයට සීමා වූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම.

යන කරුණු එහිදී සාකච්ඡා කර ඇති කරුණුවලට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.