මුහුදු කලාපය නිරීක්ෂණය සඳහා නවීන පන්නයේ නව ගුවන් යානා දෙකක්

මුහුදු කලාපය නිරීක්ෂණය සඳහා නවීන පන්නයේ නව ගුවන් යානා දෙකක්

මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිදුවීම් නිරන්තරව වාර්තා වන බවත් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව වැටලීම් සිදු කිරීම වැදගත් බවත් මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (23) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට බොහෝ විට භාවිත කරන්නේ මුහුදු මාර්ගය බවත් මේ නිසා එම මාර්ග අවහිර කිරීම අතිශයින් වැදගත් බවත් උන්වහන්සේලා ප්‍රකාශ කරති.

මෙහි දී අදහස් දැක්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාව නිරන්තරව ගුවනේ සිට අවේක්ෂණ කටයුතු සිදු කරමින් නාවික හමුදාවට වැටලීම් සඳහා අවශ්‍යය තොරතුරු ලබා දෙන්නේ යැයි පැවසුවේය.

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සඳහා නවීන පන්නයේ ගුවන් යානා දෙකක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතා පවසයි.

Beach King 360 ER මාදිලියේ ගුවන් යානයක් මෙම වර්ෂයේදී ඇමරිකාවෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ඕස්ට්‍රේලියාවෙන් එවැනි ගුවන් යානයක් ලබන වර්ෂය මුලදී හිමිවන බව ද ගුවන් හමුදාපතිවරයා කීවේය.

මෙරට මුහුදු ආවේක්ෂණය සඳහා ඉන්දියානු නාවුක හමුදාව මගින් දෝණිය 228 විශේෂ යාත්‍රාව ශ්‍රී ලංකාවට හිමිවන බවත් කී ඒ මහතා මුහුදු මංකොල්ලකරුවන්, මෙරට සාගරය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මිනිස් ජාවාරම්කරුවන් නිරීක්ෂණය ආදී සාගර කලාපයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා මැදිහත්වන බවත් කීවේය.

COMMENTS