රග්බි ලෝක කුසලාන‍ය සිව්වැනි වරටත් දකුණු අප්‍රිකාවට

රග්බි ලෝක කුසලාන‍ය සිව්වැනි වරටත් දකුණු අප්‍රිකාවට

සිව්වැනි වරටත් රග්බි ලෝක කුසලාන‍යක පහස විඳීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් වුණා.

ඒ ප්‍රංශයේ Stade de France, Saint-Denis ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සමඟ පැවති 2023 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී 12 – 11ක් ලෙස උද්වේගකාරී තියුණු සටනකින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

තරගය ආරම්භ වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව පළමු දඬුවම් පහර මගින් ලකුණු හඹා යාම ආරම්භ කරනු ලැබුවා.

ඉන් අනතුරුව දඬුවම් පහර මඟින් කණ්ඩායම් දෙකම පළමු අර්ධයේදී ලකුණු රැස් කිරීමට සමත් වුණා.

පළමු අර්ධය අවසන් වනවිට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවූ අතර, ඒ වන විටත් දකුණු අප්‍රිකාව 12ක් සහ නවසීලන්තය 06ක් ලෙස ලකුණු ලබා සිටියා.

නවසීලන්තය පළමු අර්ධය අවසන් වීමට පෙර කහ කාඩ්පත සංඥා කිරීම නිසා තරගයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුට විනාඩි 10කට අවස්ථා දෙකකදී ඉවත් වීමට සිදු වූ අතර, ඒ නවසීලන්ත නායක SAM CANE සහ SHANNON FRIZELL.

අනතුරුව නවසීලන්ත නායක SAM CANE ගේ කහ කාඩ්පත අනතුරුදායක ක්‍රීඩා විලාශය නිසා රතු කාඩ්පතක් බවට සංඥා කිරීමෙන් ඔහුට මෙම අවසන් තරගය සම්පූර්ණයෙන්ම තහනම් වූ අතර, එය අවසන් මහා තරගයක පළමු වරට රතු කාඩ්පතක් මගින් ක්‍රීඩකයෙක් ඉවත්කළ අවස්ථාවද වෙනවා.

පළමු අර්ධයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක SIYA KOLISI හටද කහ කාඩ්පත සංඥා කිරීම නිසා විනාඩි 10කට තරගයෙන් ඉවත් වීමට සිදුවුණා.

ලකුණු 06 – 12 ක් ලෙස තිබියදී නවසීලන්තය විසින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් වූ නමුත්, පන්දුව ගිලිහී ඉදිරියට යාමක් බවට විනිසුරුවරයා තීරණය කිරීමෙන් අනතුරුව එම උත්සාහක දිනුම අවාසනාවන්ත ලෙස නවසීලන්තයට අහිමි වුණා.

කෙසේ නමුත් ඉන් අනතුරුව යලිත් නවසීලන්ත කණ්ඩායම දැඩි උත්සාහයකින් අනතුරුව උත්සාහක දිනුමක් (try) හරහා 06 – 12ක් ලෙස පැවති ලකුණු පුවරුව 11 – 12ක් ලෙස ගෙන ඒමට සමත් වූ නමුත්, ඉන් අනතුරුව තවත් ලකුණු 02ක් කණ්ඩායමට එකතු කර ගැනීමට අවස්ථාව හිමි වූ උත්සාහක දිනුම් ප්‍රවර්තනය (Conversion) අවාසනාවන්ත ලෙස ඔවුන්ට මඟහැරී ගියා.

තරගයේ 72වැනි විනාඩියේදී දකුණු අප්‍රිකානු CHESLIN KOLBE හටද කහ කාඩ්පතක් මඟින් තරගයෙන් තාවකාලිකව ඉවත් වීමට සිදුවූ අතර, ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තමන් වෙත නතුකර ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරද (penalt‍y) ඔවුන්ට අවාසනාවන්ත ලෙස ගිලිහී ගියා.

ඒ අනුව තරග කාලය අවසන් වීමත් සමඟ 12 – 11ක් ලෙස ලකුණු ලබා ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකාව සිව්වැනි වරටත් රග්බි ලෝක ශූරයින් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවා.