ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත බාර දී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව සහ මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බවයි.

මහේස්ත්‍රාත්වරිය විසින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින් ගේ මතය මෙම තීන්දුව දීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් පදනම් කරගත් බව වාර්තා වෙනවා.

පැමිණිල්ල මාර්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මේ අතර, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ගැන සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මඟින් මූලික වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ මරණය සිදු ව ඇත්තේ, සයනයිඩ් ශරීරගත වීමකින් ද නැතහොත් ගෙල සිර කිරීමකින් ද යන්න පිළිබඳවයි.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ, ෂාෆ්ටර් මහතා රෝහල්ගත කරන විටත් ඔහුගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වී තිබූ බවයි.

ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගෙන සිදු කළ පටක පරීක්ෂාවේ දී ගෙලෙහි හා මුහුණෙහි වූ සීරීම් තුවාල හේතුවෙන් කමිටුව තීරණය කර තිබෙන්නේ ගෙලෙහි ඇති වූ පීඩනයක් හේතුවෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වී ඇති බවයි.

ෂාෆ්ටර් මහතා ගේ මුඛයෙන් සයනයිඩ් ශරීරගත වී ඇති නමුත් මරණය සිදුවීම සඳහා ප්‍රමාණවත් සයනයිඩ් ප්‍රමාණයක් ශරීරගත වී නොමැති බවත් අදාළ වාර්තාවේ සඳහන්.

මෙය ස්වාභාවික මරණයක් නොව තුන් වැනි පාර්ශ්වයක් විසින් සිදු කළ මරණයක් බවත් ශරීරයට ඔක්සිජන් අඩු වීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බවත් කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වෙනවා.

COMMENTS