ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිළධාරින් වහාම ඉල්ලා අස්විය යුතුයි – රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිළධාරින් වහාම ඉල්ලා අස්විය යුතුයි – රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේ වන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

පරාජයන් සඳහා වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට පැවරිය නොහැකි බවත්, එහි වඟකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතුව බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් මත අප රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනුයේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදෙමින් බව වාර්තා වෙනවා.

අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියානු T20 ලෝක ක්‍රසලාන තරඟාවලි සංචාරයේ දී සිදු වූ දූෂණය ද, LPL තරඟාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී සිදු වූ ගණුදෙනු පිළිබඳ අමාත්‍යවරයා කරුණු සඳහන් කළා.

ලෝක කුසලානය තරඟාවලිය වැනි පොදු අභිලාෂය පැත්තකට කර, LPL තරඟ කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට, උපදේශකවරුන් හා තේරීම් කමිටුවට නොපෙනීම සැබවින්ම ගැටළු සහගත බවට අමාත්‍යවරයා චෝදනා කළා.

උපදේශක කමිටුව හා තාක්ෂණික කමිටුව LPL තරඟාවලිය පැවැත්වීම සඳහා එකඟ වූයේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරඟාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

LPL තරඟාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරඟාවලියම අහිමි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම පුද්ගලික පලිගැනීම් සහ නොසලකා හැරීම් මත රට දෙවෙනි කොට ඇංජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ, පළපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා තම ක්‍රිකට් ආයතනයෙන් තෝරා යැවූ ක්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීන් ඉල්ලා අස්වූ බවත්, ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිළධාරීන්ට මෙවැනි පරාජයන් හමුවේ තව දුරටත් බලයේ රැදීසිටීමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්න කළ අතර තරඟාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS