ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද අන්ත පරාජයන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනමය නිලධාරීන් කෙරෙහි සමාජයේ විරෝධයක් ගොඩනැගීම අවසන්.

නොවැම්බර් 02 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති 2023 එක්දින ලෝක කුසලානයේ 33වැනි තරඟයෙන් ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 55ක් ලබාගැනීම සමඟ සිදු වූ අපකීර්තිමත් අන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සඳහා සෘජුව චෝදනා එල්ල වුණා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ත‍රඟ පරාජයන්හි වගකීම් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාර ගත යුතු බවට චෝදනාත්මක ලිපියක්ද මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව මොහාන් ද සිල්වා ධූරයෙන් ඉවත් වීමේ ලිපිය මෙලෙස භාර දී ඇති බව වාර්තා වෙනවා.

මෙම පරාජයන්හි සහ ක්‍රීඩාවේ කඩාවැටීමේ වගකීම් භාරගෙන එම තනතුරුවලින් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉදිරිපිට අද (04) උදෑසන සත්‍යග්‍රහයක් ද ආරම්භ වුණා.

සත්‍යග්‍රහය හේතුවෙන් ආයතන පරිශ්‍රය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලාවන්හි ක්‍රීඩාලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ පරිපාලන නිලධාරීන්ට විරුද්ධව #GohomeSLCboard නමින් හෑෂ් ටැග් (Hashtags) අරගලයක් ද මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

COMMENTS