ඇහැළේපොළ වලව්වට කරන්න යන වැඩේ

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව, දළදා මාළිගාව විසින් භාර නොගන්නේ නම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී ඇති අතර මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ මුදල යළි නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.
එහෙත් අදාළ දේපළ සංවර්ධනයට වැයවූ මුදල නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී හෙළිවුණා. එම මුදල ගෙවීමට දළදා මාලිගාව අකමැතිනම් එම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

