නවදිල්ලියේ වායු දූෂණය මැඬලීම පියවර

නවදිල්ලියේ වායු දූෂණය මැඬලීම පියවර

ඉන්දියාවේ නවදිල්ලි නඟරයේ වායූ දූෂණය මැඬලීමට ඉන්දීය විද්‍යාඥයන් නව විකල්පයක් ලෙස වැසි වළාකුළු සක්‍රිය කිරීම සඳහා වැසි බීජ ඊට මුසු කිරීම සූදානම් බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ කාන්පූර් හි ඉන්දිය තාක්ෂණික ආයතනයේ විද්‍යාඥ මනින්ද්‍රා අග්‍රවාල් සඳහන් කළේ, ලබන 20 වැනිදා වන විට දිල්ලියේ ඉහළ අහසේ පුළුල් වළාකුළු ආවරණයක් අපේක්ෂා කරන බවත් ඊට වැසි බීජ එක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

සිල්වර් අයඩීන් ඇතුළු ලුණු වර්ග මිශ්‍රණයක් මෙලෙස වැසි බීජ ලෙස වළාකුළුවලට එක් කෙරෙන අතර, වර්ග කිලෝමීටර 100ක ප්‍රදේශයක වළාකුළු සක්‍රිය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටියක් පමණ වැය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිලියන 20ක ජනගහනයක් වෙසෙන දිල්ලියේ ගුවන් කලාපය දළ වශයෙන් වර්ග කිලෝමීටර 1500ක්.

ලොව වායු දූෂණය ඉහළම නඟරයක් වන නවදිල්ලියේ වායු දූෂණය මැඬලීම සඳහා පාසල් තාවකාලිකව වසා දැමීම, ඉදිකිරීම් අත්හිටුවීම මෙන්ම වාහන භාවිතයට සීමා පැනවීම ඇතුළු පියවර රැසක් ගෙන තිබෙනවා.

දිල්ලියේ වායු දූෂණ මට්ටම අද 506ක් ලෙස සටහන් වූ අතර, වායු දූෂණය සෝදා හැරීමට දිල්ලියට දැඩි වර්ෂාවක් අවශ්‍යයි.

මෙක්සිකෝව, අමෙරිකානු එක්සත් ජනපදය, චීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් සිය වායු දූෂණය මැඬලීමට මෙන්ම බෝගවලට ජලය සැපයීම සඳහා මීට පෙර කෘත්‍රීම වැසි වැස්වීමේ තාක්ෂණය භාවිත කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.