බිත්තර මිල අඩු නොකළොත් ආනයනය කරන්න සිදු වෙනවා

බිත්තර මිල අඩු නොකළොත් ආනයනය කරන්න සිදු වෙනවා

අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බිත්තර මිල අඩු නොකල හොත් බිත්තර ආනයනය කිරීමට සිදු වන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අම්බලංගොඩ ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර කුකුල්මස් කිලෝග්‍රෑමයක මිලද මේ වනවිට රුපියල් 1300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ගෑස් සිලින්ඩරය, එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්දට යටත් කිරිම නිසා ගෑස් මිල සැලකිය යුතු අන්දමින් ඉහළ යනු ඇති බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

ලබන ජනවාරි මස 01වනදා සිට ගෑස් සිල්ඩරයකට 18%ක වැට් බද්ද පැනවෙන අතර ඒ අනුව රුපියල් 600 කට වැඩි මුදලකින් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට වෙළඳපළේ ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 3565 කටයි.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1431 කටත්, කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 668 කටත් අලෙවි වනවා.

එමෙන්ම මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික මිල වාර්තාව අනුව පිටකොටුව වෙළෙඳපොළේ දේශීය රතු ලුණූ කිලෝග්‍රෑමයක මිල රුපියල් 450ක් ලෙස සටහන් වූ අතර, ආනයනික රතු ලුණු කිලෝග්‍රෑමයක මිල සටහන්ව ඇත්තේ රුපියල් 440ක මිලකටයි.

වෙළඳ පොළේ ආහාර ද්‍රව්‍ය ඉහළ යෑම සම්බන්ධයෙන් ජාතික කාන්තා එකමුතුව විසින් කොළඹදී ඊයේ (14) ප්‍රවෘත්ති සාකච්ජාවක්ද සංවිධානය කර තිබුණා.